ජීවිතය නමැති ගොඩනැඟිල්ලේ අත්තිවාරම
තරුණ වියේදී පුද්ගලයෙකු තුළ ඇතිවෙන ශාරීරික හා මානසික පරිවර්තනය නිවැරැදිව හඳුනාගත යුතුවේ. මේ අවධියේ ඇතිවෙන හැඟීම් හා චිත්තවේග පරිණත ඒවා නොවේ. ඒවායේ මූලික ස්වභාවය වන්නේ කෙසේ හෝ මුදාහැරීමේ අවශ්‍යතාව කෙරෙහි පුද්ගලයාඋනන්දු කිරීමයි. මේ තත්ත්වය තුළ බුදුසමයේ ආශ්‍රය වැඩිපුර ලැබිය යුත්තේ තරුණ තරුණියන්ය. බුදුසමයට යොමුවීමෙන් ඔවුන් ගත කරන සුන්දර යොවුන් වියට කිසිසේත්ම බාධාවක් ඇති නොවේ. බුදුසමය කිසිවිටෙකත් ඔවුන් ගත කරන තරුණ ජීවිතය කලකිරවීම පිණිස යොමුකරන්නක් නොවේ.
තරුණ අවධිය පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත්ම අවධිය වශයෙන් සැළකිය හැකිය. එයට හේතුව එම කාලය තුළ ඔහු හෝ ඇය විසින් අත්පත්කරගන්නා යහපත් හා අයහපත් දේ මත අනාගතය තීරණය වන බැවිනි. මෙම සංක්‍රාන්ති අවධිය වඩාත් අර්ථවත් මෙන්ම බුද්ධිමත්ව ගත කළහොත් අනාගතය නිසැකවම යහපත් වනු ඇත. ජීවිතය නමැති ගොඩනැගිල්ලේ අත්තිවාරම වන්නේ තරුණ අවධියයි. එය ශක්තිමත්ව ගොඩනැඟූ පමණටම ජීවිත ගොඩනැගිල්ලේ කල්පැවැත්ම තීරණය වේ.
තරුණ වියේදී පුද්ගලයෙකු තුළ ඇතිවෙන ශාරීරික හා මානසික පරිවර්තනය නිවැරදිව හඳුනාගත යුතුවේ. මේ අවධියේ ඇතිවෙන හැඟීම් හා චිත්තවේග පරිණත ඒවා නොවේ. ඒවායේ මූලික ස්වභාවය වන්නේ කෙසේ හෝ මුදාහැරීමේ අවශ්‍යතාව කෙරෙහි පුද්ගලයා උනන්දු කිරීමයි. මේ තත්ත්වය තුළ බුදුසමයේ ආශ්‍රය වැඩිපුර ලැබිය යුත්තේ තරුණ තරුණියන්ය.
බුදුසමයෙන් උපදෙස්
බුදුසමයට යොමුවීමෙන් ඔවුන් ගත කරන සුන්දර යොවුන් වියට කිසිසේත්ම බාධාවක් ඇති නොවේ. බුදුසමය කිසිවිටෙකත් ඔවුන් ගත කරන තරුණ ජීවිතය කලකිරවීම පිණිස යොමුකරන්නක් නොවේ. හැම අතින්ම අර්ථවත් එමෙන්ම දුක්කම්ටොලුවලින් ඔවුන් මුදවාගන්නා උපදෙස් සමූහයක් බුදුසමයෙන් යොවුන් පිරිසට ලබා දේ. එයින් කීපයක් පිළිබඳ සංක්‍ෂිප්තව සාකච්ඡා කරමු.
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැළකෙන ධම්මපදයේ ජරා වර්ගයේ අවසන් ගාථා දෙකෙහි අන්තර්ගතය අනුව “බ්‍රහ්මචර්යාවෙහි නොහැසිර, යොවුන් සමයෙහි ධනය ඉපැයීමෙන් තොරව වාසය කරන්නා මසුන් නොමැති විලක් දෙස බලමින් දුක්වෙන මහළු කොස්වා ලිහිණියෙක් සෙයින් දුකට පත්වෙයි. දුන්නෙන් මිදුණු ඊතලයක් රැදුණු තැනම දිරාපත් වන්නාක් මෙන් යොවුන් සමයේ විඳින ලද සැප ගැන හිතමින් සෝකයට පත් වේ.( පුරාණානි අනුත්ථුනං)” විමසිලිමත් වුවහොත් යොවුන් වියෙහි ජීවිතය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න මෙයින් වටහා ගත හැකි වේ.
බ්‍රහ්ම චරිය වාසය
මෙම ගාථා දෙකෙහිම එකම කරුණ උපමා දෙකක් භාවිත කරමින් ඉදිරිපත් කරයි.පළමු ගාථාවෙහි මසුන් නැති විලක් දෙස බලමින් සොවින් තැවෙන මහළු කොස්වා ලිහිණියෙකුටත් දෙවන ගාථාවෙහි දුනු දියෙන් මිදුණු ඊතලයක් වැටුණු තැනින් ඉවත් නොකොළොත් එහිම දිරිපත්වන අයුරුත් උපමා කරගනී. පළමු ගාථාවෙහි දැක්වෙන කොස්වා ලිහිණියා තම මහළු බව නිසාත් මසුන් නොමැති විලක් දෙස බලා සිටීමෙනුත් දුකට පත්වේ. ලිහිණි පක්‍ෂියා හැම අතින්ම පරාජිත වූවෙකි. මහළු බව නිසා වෙනත් මසුන් ඇති විලක් වෙත පියාසර කිරීමට ද නොහැකිය. එසේම තමන් අභියස පවතින්නේ මසුන් නැති විලක් බැවින් ජීවිතය ගැන කිසිම අපේක්‍ෂාවක් තබාගත නොහැකිය. දුන්නෙන් මිදුණු ඊතලය නැවත ප්‍රයෝජන ගැනීමට නම් එය නැවත සොයා ගෙන පිරිසුදු කළ යුතුයි. එසේ නොවුණහොත් එය එහිම දිරාපත් වේ. මෙම උපමා දෙක පදනම් කරගෙන යොවුන් ඔබ ජීවිතය දෙස බලන්නේ නම් ඔබගේ අනාගතය අද සිටම කළමනාකරණය කරගැනීමේ වැදගත්කම වටහා ගත යුතු වේ.
ගාථා දෙකෙන්ම ඉදිරිපත් කරන පළමු කරුණ වන්නෙ බ්‍රහ්ම චරිය වාසයයි. බ්‍රහ්මචර්ය යන වචනය බුදුසමය යොදන්නේ ඉතා පුළුල් අර්ථයකිනි. එය යෙදෙන සන්දර්භය අනුව එහි අර්ථය ද වෙනස් වේ. මෙම ගාථා දෙකෙහි බොහෝදුරට එයින් අදහස් කරන්නේ තරුණ වයසෙහි ආරක්‍ෂා කළ යුතු කුමර බඹසර හා කුමරි බඹසර වශයෙන් සැළකීම වරදක් නොවේ. ගිහියෙකු වශයෙන් ගත්විට තරුණ අවදියේ ආරක්‍ෂා කෙරෙන බ්‍රහ්මචර්ය ප්‍රතිපදාව අංශ කීපයකින් වැදගත් වේ. ලිංගික රාගය වනාහි සහජ ස්වභාවයකි. එය අපගේ පැවැත්ම පිණිස අවශ්‍ය වේ. එහෙත් එම සහජ චිත්ත ස්වභාවය නීතිය යුක්තිය සමාජ සම්මත සදාචාරය මඟින් පාලනයට යටත්ව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා බුදුසමය හිරිඔත්තප්ප යටතේ පවට ලජ්ජා වීම හා බිය වීම යන වැදගත් නිර්දේශයක් ඉදිරිපත් කෙරේ. ලිංගික රාගය පාපයක් බවට පත්වන්නේ එය සමාජ සම්මත සදාචාරය නීතිය යුක්තිය උල්ලංඝනය කරන්නේ නම් පමණි.
චිත්තවේගය පාලනය
එහෙත් මෙම මානසික ස්වභාවය පාලනයකින් තොරව මුදා හැරීමෙන් පුද්ගලයාට පෞද්ගලික මෙන්ම සාමාජීය වශයෙන් මුහුණ දීමට සිදුවන අනතුරු බොහෝ ය. රාගයෙන් රත් වූ මිනිසා තමාට අහිත පිණිස සිතයි අන් අයට අහිත පිණිස සිතයි උභය පක්‍ෂයටම අහිත පිණිස හිතයි. මිනිසා හා තිරිසනා අතර පවතින මූලික වෙනස වන්නේ, මිනිසාට මෙම ස්වාභාවික චිත්තවේගය පාලනය කරගැනීමට හැකියාව තිබීමයි. එහෙත් මෙම චිත්තවේගය කළමනාකරණය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් මාරාන්තික කායික රෝග, මානසික ආබාධ මෙන්ම සිරගතව දුකට, වේදනාවට පත්ව කාලය ගත කරන පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. යොවුන් වියේ ඇතිවෙන ශාරීරික වෙනස්කම් හා සමාජ උත්තේජනයන් නිසි පරිදි වටහා ගැනීමට නොහැකිව මෙම ආවේගය නිදහසේ මුදා හැරීම හේතුවෙන් වත්මන් තරුණ තරුණියන් මුහුණ දෙන සමාජ අර්බුද බොහෝය. ලිංගික රාගය වැනි සහජ ස්වභාවයක් මුදා හැරීමේ දී බුදුසමය සදාචාර සීමාවන් හඳුන්වා දෙන්නේ මේ හේතුව නිසා ය. ලෝක තත්ත්වය හා සමාජ පිළිගැනීම් කෙසේ වුවද බුදුසමයෙන් කිසිවිටෙකත් පූර්ව විවාහ ලිංගික සබඳතා කිසිසේත්ම අනුමත නොකරයි. බුදුසමය සෑම විටම ආධ්‍යාත්මික මෙන්ම කායික නීරෝගීකමත්, සාමාජීය වශයෙන් නිරෝගී කමත් අවධාරණය කරයි. පුද්ගලයාගේ ආධ්‍යාත්මික ජීවිතය අවුල් කරන කායික වශයෙන් රෝගී කරන සමාජ සම්මත සදාචාර සීමාවන් උල්ලංඝනය කෙරෙන පිළිවෙතකට බුදුසමයෙන් අනුබල නොදේ. ලිංගික ආශාව වැනි සහජ ස්වභාවයක් සදාචාර සම්පන්න විවාහ ජීවිතය යටතේ මුදාහැරීම පුද්ගලයාගේ මෙන්ම සමාජයේ දියුණුවටත් හේතුවේ. එයද පරදාර පරපුරුෂ සේවනයෙන් මිදුණු සදාචාර සම්පන්න එකක් විය යුතු වේ. මෙනිසා කුමර බඹසර මෙන්ම කුමරි බඹසර රැකීමේ වැදගත්කම බුදුදහමින් අගය කරනු ලැබේ. මෙයින් පරිබාහිරව සදාචාර සීමාවන් බිඳ දමමින් හැසිරෙන තරුණ තරුණියන් තම අධ්‍යාපනය, ධනය, පවුලේ ගෞරවය විනාශ කරගෙන තිබෙන අයුරු විවිධ අන්දමින් වාර්තාවේ.
අනාගත සුරක්‍ෂිතතාව
ධම්මපදයේ දැක්වෙන ඉහත ගාථාවන්ගෙන් පෙන්වා දෙන බ්‍රහ්මචර්ය ප්‍රතිපදාව තරුණ ජීවිතයට වටිනාකමක් ලැබෙන, අනාගතයේ දී තමන්ට මෙන්ම සමාජයටත් ඵලදායක පුරවැසියෙකු නිර්මාණය කිරීමට උපයෝගී වේ.
තරුණ අවධියේ දී තමා වෙත පැවැරෙන තවත් වැදගත් වගකීමක් වන්නේ අනාගත සුරක්‍ෂිතතාව වෙනුවෙන් ධනය ඉපැයීමයි. විවාහ වුවද, නොවුවද තමාගේ අනාගත සුරක්‍ෂිතතාව වෙනුවෙන් මෙන්ම තමන්ගේ ජීවිතයට උපකාර කළ තම දෙමාපියන් හා පවුලේ අය වෙනුවෙන් ද යුතුකම් ඉටු කිරීමටත් විවාහ වන්නේ නම් තමන් නිසා මෙලොවට කැඳවාගෙන එන්නන් කෙරෙහිත් ඉටුකළයුතු යුතුකම් රැසක් තිබේ. පුද්ගලයෙකුගේ කායික මානසික හැකියාවන් ක්‍රමයෙන් වෙනස් වීමට හා පරිහානියට පත්වේ. මෙනිසා කායික හා මානසික වශයෙන් ශක්තිමත්ව සිටින යොවුන් අවදියේ ධනය සපයා ගනිමින් ආර්ථික සුරක්‍ෂිතතාව උදෙසා ක්‍රියාත්මක විය යුතු වේ.
අනාගත දැක්මක්
එහෙත් සදාචාර සීමාවන් උල්ලංඝනය කරමින් සියයුතුකම් අමතකකරමින් අනවශ්‍ය ලෙස තරගකාරීව ධනය සොයා යෑමක් කෙරෙහි බුදුසමය පුද්ගලයා උනන්දුකරනු නොලැබේ. අනාගතය පිළිබඳ දැක්මක් ඇතිව ධාර්මිකව ධනය ඉපැයිය යුතුවේ. අනාගතය යනු වර්තමානය වේ. වර්තමානය තුළ අප විසින් අත්පත්කරගන්නා සාර්ථකත්වය අපගේ අනාගතය තීන්දු කරනු ලැබේ. ආර්ථික වශයෙන් සුරක්‍ෂිත නොවුණහොත් වෙනස්වන ලෝකයට සාපේක්‍ෂව අපට කටයුතු කළ නොහැකි වේ. කිසිවක් නොමිලේ නොලැබේ. අප ජීවත්වීමට ලබා ගන්නා සෑම දෙයකටම කවුරුන් විසින් හෝ ගෙවීමක් කරනු ලැබේ. මෙනිසා පළමුව ආර්ථික සුරක්‍ෂිතතාව ඇතිකරගැනීමට අවශ්‍ය අධ්‍යාපනය, දැනුම, පුහුණුව තරුණ අවදියේම සම්පූර්ණ කර ගත යුතු වේ. දෙවනුව ආර්ථිකය ශක්තිමත් කෙරෙන දිගුකාලීන පිළිවෙතකට අවතීරණය විය යුතු යි. සමාජ ආර්ථික තත්ත්වය යටතේ එකම ආදායම් මාර්ගයකින් පමණක් ආර්ථික සුරක්‍ෂිතතාව ඇතිකරගත නොහැකිය. තැන්පත් ධනය මෙන්ම අනාගතයට ආයෝජනය කළ හැකි බොහෝ දේ අත්පත් කරගත යුතු වේ.මේ අනාගත දැක්ම තරුණ තරුණියන් තුළ ඇතිකරගත යුතුයි. වර්තමානයේ ඇතැම් තරුණ පිරිස් ධනය සොයා යාමේ තරගයේ අන්තයට ගොස් තිබෙන අතර තවත් පිරිසක් උපයන ධනය කිසිදු වගවිභාගයකින් තොරව විනාශ කරගනු දක්නට ලැබේ. මේ අන්ත දෙකම සුදුසු නොවේ.මැදුම් පිළිවෙතම අනුව දැහැමි ක්‍රමයකින් ධනය සොයා ගන්නා අතරම නුවණින් එය වැය කළ යුතුයි. තරුණ විය විනෝදකාමීය සැහැල්ලුය. හැම විටම ඉඳුරන් පිනවීමට මෙන්ම නව විලාසිතාවන්ට සිත ඇදී යයි. මෙය ස්වභාවිකය. ඉඳුරන් පිනවීම පාපයක් නොවේ. එහෙත් ඒ සියල්ල සමාජ සම්මත සදාචාරය, නීතිය, යුක්තිය, සංස්කෘතික වටිනාකම් රැකෙන අයුරින් සිදුවිය යුතුයි. අන්ධානුකරණයෙන් වැළකී තම ශාරීරික හා මානසික සෞඛ්‍ය මෙන්ම ධනයත් ආත්මගරුත්වයත් ආරක්‍ෂා කරගනිමින් කටයුතු කළ යුතු වේ.
ධම්මපදයේ දැක්වෙන ඉගැන්වීම අනුව තරුණ වියෙහි බඹසර රැකීමත් ධනය ඉපයීමත් කළ පුද්ගලයා අනාගතයේ සාර්ථක ජීවිතයකට හිමිකම් කියනු නොඅනුමානය. එසේ නොකළ තැනැත්තාට මසුන් නැති විලක් දෙස බලා දුක්වෙන මහලු කොස්වාලිහිණියෙකු මෙන් දුකට පත්වීමට සිදුවන අතරම දුන්නෙන් මිදුණු ඊතලය එහිම විනාශ වන්නාක් මෙන් තම අතීතයේ ගිලිහීගිය වටිනා අවස්ථා ගැන කල්පනා කරමින් දුක්වීමට සිදුවනු නො අනුමානය. මෙවන් පුද්ගලයන් කොතෙකුත් එදිනෙදා ජීවිතයේ දී ඔබට හමුවනු ඇත. එය ආදර්ශයට ගෙන තරුණ අවධියේම අනාගත දැක්මක් ඇතිව ශක්තිමත් පදනමක් සකස් කරගැනීමට උත්සුක වියයුතුයි.